අද මැයි පලවෙනිදා කම්කරුවන්ගේ දිනයයි. ඉතිහාසයට අනුව මැයි දිනයේ ආරම්භය සනිටුහන් වන්නේ 1886 මැයි 1 වනදා ඇමරිකාවේ හේමාකට් චතුරශ්‍රයේය. එදින එම ස්ථානයට රැස්වු කම්කරු ජනයා ඉල්ලා සිටියේ දෛනිකව පැය 8 ක සේවා කාලයකි. නමුත් එය මර්ධනයකින් කෙලවර විය. පසුව 1889 දී
ලෝක කම්කරු දිනය මැයි පලවෙනි දින වශයෙන් ආරම්භ විය. එදා පටන් මැයි පලවෙනිදා ලෝක කම්කරු දිනයයි.

විපක්ෂයේ අය නම් යාපනයට කොටසකුත් කොලඹට තව කොටසකුත් යනු ඇත. ජවිපෙ සහ කැඩීගිය පෙසප වෙන වෙනම කම්කරු දින සමරයි. ඒ නිසා වාමාංශික හෙංචයියන්ටද වෙනදා මෙන්ම Option කිහිපයක් ඇත. ඔප්ෂන් වැඩි වෙන්න වැඩි වෙන්න ඩිමාන්ඩ් එකත් වැඩිය. මේ නිසා කට්ටිය ගේන්න නොයෙකුත් දීමනා දෙන්නට සිදුවනු ඇත. මේ සියල්ලේ බරපැන දේශපාලකයන්ගෙනි. වාමාංශික වේවා, ආන්ඩු පක්ෂ හෝ විපක්ෂ වේවා මේ සෑම දේශපාලකයෙක්ටම මෙය පොදුය. තමන්ගේ කාර්ඩ් එක බේරා ගන්නට නම් පිරිස් ගෙන ආ යුතුය.

අනිත් පැත්තෙන් ඩප්පි සෝමෙලා, බකට් හැරීලා සහ කසිප්පු ජෙමාලා අද ගිණිරාමෙට වැඩය. සමහරු මැයි දිනේට පිරිස අද්දවන වැඩය. තවත් සමහරු මැයි දිනේට බඩු සප්ලයි කරති. තවත් අය බකට් එකක් එහෙම ඇදුනොත් කියා ඉණේ අවශ්‍ය ආරක්ෂාව සඟවා ගෙන එහෙ මෙහෙ සැරි සරති. මේ නිසා මැයි දින කම්කරුවා පාරේ යන එක එච්චර සුභ නැත. සමහර විට පිරිස් මදි වුවහොත් කුදලාගෙන ගොස් බලහත්කාරයෙන් මැයි දිනය සමරවන්නටද බැරි නැත. එහෙම වුවහොත් සිදුවන්නේ අකමැත්තෙන් හෝ ගොස් මැයි දිනය සමරා එන්නටය.

ඒ නිසා කම්කරුවෙනි, මැයි දින මහපාරට නොඑන තරමටම හොඳය. මැයි දිනය තවදුරටත් ඔබලාගේ නොවෙයි. එය දේශපාලකයන්ගේ මගුල් දවසකි. ඔබලාට නිවාඩු දවසකි.
දේශපාලකයන්ගේ කම්කරු දිනයට ජයවේවා!
0 comments:
Post a Comment